65 දෙනෙකුට මරු කැඳවූ හොංකොං මහල් නිවාස සංකීර්ණයේ දරුණු ගින්න ගැන අප මෙතෙක් දන්නා කරුණු

ඡායාරූප මූලාශ්‍රය, Reuters
- Author, ටිෆනි වර්තිමර්
හොංකොංහි මහල් ගොඩනැගිලි සංකීර්ණයක ඇති වූ දරුණු ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 65 දෙනෙකු මිය ගොස් ඇති අතර, එය වසර 60කට වැඩි කාලයක් තුළ එරට ඇති වූ දරුණුතම ගින්න බවට පත්ව තිබේ.
ගින්නට හසුවීමෙන් 300 කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති බව වාර්තා වී ඇති අතර, මහල් නිවාසවල පදිංචිකරුවන් දහස් ගණනක් ආරක්ෂිත ස්ථානවල සිටිති.
චීන භූමියේ අහස උසට පැතිර යන ඝන දුමාරයක් සහ ගොඩනැගිලි කිහිපයක් ගිනි ගන්නා ආකාරය ඡායාරූපවලින් දැක්වේ.
රාත්‍රිය උදා වන විටත්, ගින්න මුලින් ම වාර්තා වී පැය කිහිපයකට පසුවත් එය ගිනි ගනිමින් පැවති අතර, ගිනි නිවන භටයින් 760කට වැඩි පිරිසක් එම ස්ථානයට යොදවා තිබිණි.
ගින්න හේතුවෙන් මනුෂ්‍ය ඝාතන සිදුවූ බවට සැක කරමින් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
චීන ජනාධිපති ෂී ජින් පිං, "රාජකාරියේ යෙදී සිටියදී මිය ගිය ගිනි නිවන භටයෙකු" ඇතුළු විපතට පත්වූවන්ට ශෝකය පළ කර ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ගින්නට හේතුව මෙතෙක් පැහැදිලි වී නොමැති අතර, ගින්න පිළිබඳව අප මෙතෙක් දන්නා කරුණු මෙහි දැක්වේ.
ගින්න හටගත්තේ කොතැනක ද? කුමන් අවස්ථාවක ද?
හොංකොංහි තායි පෝ දිස්ත්‍රික්කයේ පිහිටි විශාල නිවාස සංකීර්ණයක් වන වැන්ග් ෆුක් කෝට් හී (Wang Fuk Court) බදාදා දේශීය වේලාවෙන් පස්වරු 14:51ට ගින්න හට ගත්තේ ය.
වැන්ග් ෆුක් කෝට් මහල් 31 බැගින් වූ කුලුනු අටකින් සමන්විත වේ. ඉන් කුලුනු 7ක් ගින්නට හසුවූ බව තායි පෝ දිස්ත්‍රික් මන්ත්‍රී මුයි සියු-ෆුන්ග් බීබීසී චීන සේවයට පැවසීය.
2021 වසරේ රජයේ සංගණනයට අනුව, එම මහල් නිවාස සංකීර්ණය පදිංචිකරුවන් 4,600ක් සඳහා මහල් නිවාස 1,984ක් සපයයි.
1983 වසරේදී ඉදිකරන ලද කුලුනු ප්‍රතිසංස්කරණය කරමින් තිබූ අතර, ගොඩනැගිලිවල පිටත කොටස උණ බම්බු පලංචියකින් සහ ආරක්ෂිත දැල්වලින් ආවරණය වී තිබිණි. උණ බම්බු හරහා ගින්න ක්ෂණිකව පැතිර යන ආකාරය දර්ශනවල දැක්වේ.
ගිනි අනතුරු ඇඟවීම් නාද නොවූ බවට ඇතැම් පදිංචිකරුවන් ප්‍රාදේශීය මාධ්‍ය කිහිපයකට පවසා තිබේ.
හොංකොං ආරක්ෂක ලේකම්වරයා බ්‍රහස්පතින්දා (නොවැ: 27) උදෑසන පැවසුවේ, ගින්න වේගයෙන් පැතිරීම අසාමාන්‍ය තත්ත්වයක් බව ය. මෙයට එක් හේතුවක් වූයේ, ජනේල වටා අධික ලෙස දැවෙනසුලු පොලිස්ටයිරින් භාවිතය බව පැවසේ.
තායි පෝ යනු චීන ප්‍රධාන භූමියේ ෂෙන්සෙන් නගරයට ආසන්නව හොංකොංහි උතුරු කොටසේ පිහිටි නේවාසික දිස්ත්‍රික්කයකි.
ගින්න කෙතරම් දරුණු ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එම ගින්න පස් වන මට්ටමේ අනතුරක් ලෙස හොංකොං ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව වර්ගීකරණය කර ඇත - එය දරුණුභාවයෙන් ඉහළ ම අගය යි.
ගින්න මුලින් ම වාර්තා වී මිනිත්තු 40ක් ඇතුළත, එය හතර වන මට්ටමේ අනතුරක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද නමුත්, පැය තුන හමාරකට පමණ පසු, අනතුරුදායක මට්ටම නැවතත් ඉහළ නංවන ලදී.
හොංකොංහි පස් වන මට්ටමේ ගින්නක් ඇති වූයේ, වසර 17කට පසුව ය.
ගොඩනැගිල්ල ඇතුළත පිපිරුම් ශබ්ද ඇසෙන බවත් ගිනි නිවන ජල පොම්ප පහසුවෙන් ඉහළ මහල්වලට යෙදවිය නොහැකි බවත් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ ය.
ගින්නේ දැඩි උණුසුම නිසා ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ගිනි නිවන භටයින්ට ගොඩනැගිලිවලට ඇතුළු වීමට නොහැකි වූ බව ගිනි නිවන සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩෙරෙක් ආම්ස්ට්‍රෝං චෑන් මාධ්‍යයට පැවසීය.
"ගින්නට හසුවූ ගොඩනැගිල්ලේ සුන්බුන් සහ පලංචිය කඩා වැටෙමින් තිබූ අතර, ඉන් අපගේ ඉදිරි පෙළ කාර්ය මණ්ඩලයට අමතර අනතුරක් ඇති කිරීමේ අවදානමක් තියෙනවා," ඔහු පැවසීය.
ගින්න සම්පූර්ණයෙන් ම නිවා දමන්නේ කවදා දැයි දැන ගැනීම දුෂ්කර බව ඔහු තවදුරටත් පැවසීය.
ගිනි නිවන භටයින් 767ක්, ගිනි නිවන රථ 128ක්, ගිලන් රථ 57ක් සහ පොලිස් නිලධාරීන් 400 දෙනෙකු පමණ යොදවා තිබිණි.
වින්දිතයින් ගැන දන්නේ මොනවා ද?
බ්‍රහස්පතින්දා අලුයම මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගියේ, මරණ 13 සිට 36 දක්වා ඉහළ නංවමිනි.
මධ්‍යම රාත්‍රියෙන් පසු හොංකොං ප්‍රධාන විධායක ජෝන් ලී තහවුරු කළේ, පුද්ගලයින් 279 දෙනෙකු අතුරුදන් වී ඇති බව ය.
බ්‍රහස්පතින්දා දේශීය වේලාවෙන් උදෑසන 06:00ට පෙර මරණ සංඛ්‍යාව නැවතත් 40 දක්වා ඉහළ ගොස් ඇතැයි නිලධාරීහු වාර්තා කළහ. රෝහල තුළ බරපතළ තත්ත්වයේ පසු වන 45 දෙනෙකු ප්‍රතිකාර ලබන බව ද ඔවුහු පැවසූහ.
පොලිස් නිලධාරීන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් නිවැසියන්ට පවුලේ සාමාජිකයන් සෙවීමට සහය වෙමින් සිටින බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
මිය ගිය පුද්ගලයින් අතර ෂා ටින් ගිනි නිවන මධ්‍යස්ථානයේ වසර නවයක් සේවය කළ 37 හැවිරිදි ගිනි නිවන භටයෙකු වන හෝ වයි-හෝ ද සිටී.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසන්නේ, ඔහු සමග සම්බන්ධතා බිඳ වැටීමෙන් පසු 15:30ට පමණ පසුව ඔහු ඇද වැටී ඇති බව සොයා ගත් බව ය. ඔහු රෝහලට රැගෙන ගිය නමුත් සුළු වේලාවකට පසු මිය ගිය බව ප්‍රකාශ කරන ලදී.
"සේවයට කැපවූ සහ නිර්භීත ගිනි නිවන භටයාගේ වියෝව ගැන මම අතිශයින් ශෝක වෙනවා," ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඇන්ඩි යෙයුන්ග් පැවසීය.
අවම වශයෙන් තවත් එක් ගිනි නිවන භටයෙකු රෝහලේ සිටින බව හොංකොං ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසීය.
අත්අඩංගුවට ගැනීම් ගැන දන්නා කරුණු
මාරාන්තික ගින්නක් ඇති කර මනුෂ්‍ය ඝාතන සිදුකිරීමක් සම්බන්ධයෙන් සැකපිට වයස අවුරුදු 52ත් 68ත් අතර පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු ඉදිකිරීම් සමාගමක අධ්‍යක්ෂවරුන් වන අතර අනෙක් පුද්ගලයා ඉංජිනේරු උපදේශකවරයෙකි.
ගොඩනැගිලිවලට පිටතින් ගිනි ආරක්ෂණ නොවන දැලක් සහ ආරක්ෂිත ද්‍රව්‍ය බලධාරීන් විසින් සොයා ගන්නා ලදී. ගොඩනැගිල්ලේ ජනෙල් ආවරණය කරමින් ස්ටයිරෝෆෝම් ද දක්නට ලැබිණි.
පොලිස් ප්‍රකාශකයෙකු පැවසුවේ, ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින බව ය.
"සමාගම භාරව සිටි අයගේ දැඩි නොසැලකිලිමත්කම නිසා මෙම අනතුර සිදුවෙලා තියෙනවා. ඒ නිසා ගින්න පාලනය කළ නොහැකි ලෙස පැතිර ගොස් විශාල ජීවිත හානි සිදුවූ බව විශ්වාස කිරීමට අපට හේතු තිබෙනවා."
කෙසේ වෙතත්, ගින්නට හේතුව, මෙතෙක් පැහැදිලි වී නොමැත.
හොංකොංහි උණ බම්බු පලංචි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
වැන්ග් ෆුක් කෝට් මහල් නිවාස සංකීර්ණයේ කුලුනු ප්‍රතිසංස්කරණය කරමින් තිබූ බැවින්, උණ බම්බු පලංචි ඉදිකර ඉදිකිරීම් දැල්වලින් ආවරණය කර තිබිණි.
උණ බම්බු ඉක්මනින් වැඩෙන ශාකයක් වන අතර එය සැහැල්ලු හා ඉතා ශක්තිමත් බැවින් හොංකොංහි එවැනි පලංචි සියවස් ගණනාවක් තිස්සේ භාවිත කරයි. බොහෝ දෙනෙක් එය නගරයේ නාගරික භූ දර්ශනයේ සුවිශේෂී කොටසක් ලෙස දකින නමුත් හොංකොං යනු නවීන ඉදිකිරීම් සඳහා උණ බම්බු පලංචි භාවිත කරන ලෝකයේ ඉතිරිව ඇති අවසාන නගරවලින් එකකි.
1962 දී, ෂාම් ෂුයි පෝ නමැති ආසන්න ප්‍රදේශයක ගොඩනැගිලි කිහිපයක් ගිනිගෙන පුපුරා යාමෙන් පුද්ගලයින් 55 දෙනෙකු මිය ගිය අතර, නගරයේ සිය ගණනක් පුද්ගලයින් නිවාස අහිමි විය. පරිශ්‍රයේ ගබඩා කර තිබූ පුපුරන ද්‍රව්‍ය රාත්තල් 50ක් පමණ නිසා ගින්න ඉක්මනින් ඉහළ මහල් දක්වා පැතිර ගිය බව සවුත් චයිනා මෝනිං පෝස්ට් වාර්තා කළේ ය.
දෙවන ලෝක යුද්ධයෙන් පසු නගරයේ ඇති වූ මාරාන්තික ම ගින්න 1948 දී "අන්තරායකර භාණ්ඩ" අඩංගු පස් මහල් ගබඩාවක බිම් මහලේ පිපිරීමක් හේතුවෙන් ඇති වූ ගින්නක් බව පෝස්ට් පුවත්පත සඳහන් කරන අතර, එම ගින්නෙන් පුද්ගලයින් 176 දෙනෙකු මිය ගිය බව එම පුවත්පත සඳහන් කරයි.
මාර්තු මාසයේ ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ, ආරක්ෂක හේතු මත රජයේ සංවර්ධන කාර්යාංශය උණ බම්බු භාවිතය ක්‍රමයෙන් ඉවත් කිරීමට උත්සහ කරමින් සිටින බව ය. හොංකොංහි පලංචි ආශ්‍රිත මරණ රැල්ලක් වාර්තා වීමෙන් පසුව උණ බම්බු වෙනුවට ලෝහ බට භාවිත කිරීමට පෙළඹවීමක් ඇති විය.
උණ බම්බු පලංචිවල "යාන්ත්‍රික ගුණාංගවල විචලනය, කාලයත් සමග දිරායාම සහ ඉහළ දහනය වීමේ හැකියාව වැනි ආවේණික දුර්වලතා ඇති අතර එමගින් ආරක්ෂාව පිළිබඳ ගැටලු තියෙනවා," යනුවෙන් කාර්යාංශයේ ප්‍රකාශක ටෙරන්ස් ලැම් පැවසීය.
මෙම ගින්නට හේතුව තවමත් පැහැදිලි නැත, කෙසේ වෙතත් බලධාරීන් සඳහන් කරන්නේ, එය උණ බම්බු පලංචි හරහා ඉක්මනින් අසල්වැසි ගොඩනැගිලිවලට ද පැතිර ගොස් ඇති බව ය.
අතිරේක වාර්තාකරණය: බීබීසී ග්ලෝබල් චයිනා යුනිට්හි ජැක් ලාවු සහ හොංකොංහි බීබීසී චීන සේවයේ ජෙමිනි චෙං
















